එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිදහස් දිනයදා පෞද්ගලික අංශයේ සේවකයින්ට විශේෂ නිවාඩුවක්

November 18, 2022 at 11:08 PM

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය සහ සැමරුම් උත්සවයන්ට සමගාමිව දෙසැම්බර් මස 01 වෙනිදා සිට 03 වෙනිදා දක්වා වූ නිවාඩු දිනයන් එරට පෞද්ගලික අංශයේ සේවකයින්ට ද ලබාදීමට තීරණය කර ඇති බව එරට මානව සම්පත් සහ එමිරේටේෂන් අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

“2021 සහ 2022 සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය සඳහා රජයේ නිවාඩු දින පිළිබඳ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යාංශය තෙදින නිල වැටුප් සහිත නිවාඩුව ප්‍රකාශයට පත් කරයි,” යනුවෙන් එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඉරිදා දිනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිවාඩු දිනයක් බැවින්, දෙසැම්බර් 5 වන සඳුදා දින නැවත සේවකයින් රාජකාරී සඳහා වාර්තා කිරීම සිදුකළ යුතුව ඇත. ඉරිදා දිනය නිවාඩුවක් ලෙස ලබාදී ඇති සේවකයින්ට ඒ අනුව මෙය දින හතරක දීර්ඝ සති අන්ත නිවාඩුවක් වනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය විසින් රාජ්‍ය හා පෞද්ගලික අංශයට සමාන ලෙස මෙම නිවාඩුව ලබා දී ඇත. මෙම තීරණය මගින් අංශ දෙකෙහිම සේවකයන්ට සමාන නිල නිවාඩු සංඛ්‍යාවක් ලැබෙන බව සහතික කෙරේ.