එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුල භාණ්ඩ වර්ග 09ක මිල ඉහළ දැමීම තහනම් කරයි

November 13, 2022 at 11:30 PM

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය මූලික පාරිභෝගික භාණ්ඩ සඳහා නව මිල ප්‍රතිපත්තියක් සම්මත කර ඇත. ආර්ථික අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 09ක මිල ඉහළ දැමීමට සිල්ලර වෙළෙඳුන්ට අවසර හිමි නොවෙයි.

මිල ප්‍රතිපත්තියට අනුකූලව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මිල නියම කිරීමට විකුණුම් අලෙවිසැල් විසින් කටයුතු කළ යුතු බවයි ආර්ථික අමාත්‍යාංශය විසින් සඳහන් කර ඇත්තේ.

එලෙස මිල ඉහළ දැමීම අත්හිටවූ අත්‍යවශ්‍ය භාණ්ඩ අතරට තෙල්, බිත්තර, කිරි, සහල්, සීනි, කුකුළු මස්, රනිල කුලයට අයත් ධාන්‍ය වර්ග, පාන් සහ තිරිඟු පිටි ඇතුළත් වේ.

භාණ්ඩ සැපයුම්කරුවන්, අලෙවිසැල් සහ පාරිභෝගිකයින් අතර සබඳතාව නියාමනය කිරීම සඳහා සාධාරණ යාන්ත්‍රණ සහ ඵලදායී ක්‍රියා පටිපාටි සංවර්ධනය කිරීම කෙරෙහි නව ප්‍රතිපත්තියක් කෙරෙහි අවධානය යොමුවී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලක ෂීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා පසුගිය ඉරිදා කැබිනට් රැස්වීම කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබිය.

මූලික ආහාර ද්‍රව්‍ය ඛාණ්ඩ අතරට භාණ්ඩ 11,000කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් වන අතර අධික ආනයන වියදම් හේතුවෙන් තම මිල ඉහළ දැමීමට අවශ්‍ය සැපයුම්කරුවන් අදාළ සියලු සාක්ෂි සහ දත්ත ඉදිරිපත් කළ යුතුය. අනුමැතිය සහ ගාස්තු වැඩි කිරීම පිළිබඳව ආර්ථික අමාත්‍යාංශය විසින් පසුව තීරණය කරනු ලබන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.